පොතුහැර චන්දසේල පිරුවන පිහිටුවා වදාළ පරිවේණාධීශ්වර, රාජකීය පණ්ඩිත උපාධ්‍යාය,
ධුරන්දර, අහුගොඩ ධර්මකීර්ති ශ්‍රී සීලානන්දාභිධාන පහළදොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක
ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ
ආදි කර්තෘ වූ අහුගොඩ ශ්‍රී සීලානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ පොතුහැර චන්දසේල පිරුවන් ආයතනයේ චිරස්ථීතියට අදාළ කර්තව්‍යයන් හා ප්‍රදේශයේ සාසනික සේවයටත් වැඩි කාලයක් මිඩංගු කළහ. පොතුහැර චන්දසේල පිරුවන ආරම්භකොට එය විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනයක් වනතුරුම අඛණ්ඩව නොවැටී නොනැවතී ඉදිරියට රැගෙන යාමත්, ආයතනයේ මුලික ගොඩනැගිලි ඉදිකොට එය දියුණු පමුණුවට පත්කිරීමත්, පුවක්ගහකොටුවේ සීලරතන හිමි, යාගොඩ සිරිනිවාස හිමි, පනලියේ සංඝානන්ද හිමි, හම්බාරේ සීලරතන හිමි යන ප්‍රධාන ශිෂ්‍යයන් පැවිදිකොට එම ශිෂ්‍යයන් ඇතුළු තවත් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ආරම්භ කරමින් ප්‍රදේශයට අගමික සාසනික හා අධ්‍යාපනික සේවයක් සිදුකරගෙන යාමත් එම අවධිය තුළ සිදු වූ සුවිශේෂි කාර්යාවලියයි.
පිරුවන් අධ්‍යයන ශාලා, පිරුවන් විහාරගෙය, සංඝාවාසය, නේවාසිකාගාර ආදිය තම ආයතනය තුළ නිර්මාණය කරමින් පිරුවන භෞතික අංශයෙන් දියුණු කළ උන්වහන්සේ ‘පරත්ථං පටිපජ්ජථ’ යන බුද්ධ වචනය අකුරටම අනුගමනය කළහ. දිවාරාත්‍රී දෙකෙහි උන්වහන්සේගේ කායික මානසික ශ්‍රමය වැයවූයේ පොදු මහජනයාගේ අවශ්‍යයතා සපුරාලීම සඳහා ය. උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය කැපවූයේ ශාස්ත්‍රාභිලාශීන්ගේ මනදොළ පිරවීම සඳහා ය. කාලය ගෙවීගියේ ‘උදාර චරිතාන්තු වාසුධෛව කුටුම්භකම්’ යන පඬිවදනට අනුව ය. සුඛෝපභෝගී ජීවිතයට ඇති රුචිය, සියුමැළි බව, විවේක සුවය වැනි ගතිගුණ උන්වහන්සේගේ ජීවිතයෙන් සදහටම පළාගියේ ය. දෛනික දිනචරියාව ද, උන්වහන්සේටම ආවේණික වූවකි. මුළු දවසම අනුන්ගේ වැඩකටයුතු සඳහා කාලය ගෙවීයයි. පිරුවනේ සිසුන්ට ඉගැන්වීම් කටයුතු හා මහජනයාගේ ජෝතිෂ්ශාස්ත්‍රීය කටයුතු නාහිමියන්ගේ ජීවිතයේ කාර්යබහුල එකක් බවට පත්වූහ. උන්වහන්සේ තුළ පැවති ධර්මඥාණය ස්ථානෝචිත ප්‍රඥාව අතුල්‍යය. ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳ උන්වහන්සේ විශාරදයෙකි. කීර්තිමත් ධර්මධරයෙකු ලෙස ජනප්‍රසාදයට ලක් වූ උන්වහන්සේ වෙත ලංකාවේ නොයෙක් දෙසින් සිසුන් ඇදීආවාහු වෙති. නාහිමියන්ගෙන් ඇසුර හා මාර්ගොපදේශයන් ලැබ ශාස්ත්‍රඥාණයෙන් පරිපෝෂිත වූවාහු ලක්දිව නොයෙක් දෙසින් පැතිර ශාස්ත්‍රීය සාමයික ජාතික සාමාජික සේවාවන්හි නියැලුණාහු ය. ගුරු උපස්ථානය හා ගුරුගෞරවය, වතාවත් ගරුකවීම, දවස දෙවේලේ තෙරුවන් වැඳීම, දන්දීම, තුන් සිවුරෙන් යුතුව වැඩමවීම උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂ භික්‍ෂු ආකල්පයන් ය. විජිනිපතක් අතේ නැතිව දුරබැහැර ගමනක් නොයෙදුණු උන්වහන්සේ පිරිවෙන් පියගැට පෙළවෙත පැමිණ විහාරයට නමස්කාර කොට ගමනට පිවිසීම චාරිත්‍රයකි.
අහුගොඩ ශ්‍රී සීලානන්ද නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ක්‍රි.ව. 1925 ජනවාරි 29වෙනි දින පොතුහැර චන්දසේල පිරුවන ආරම්භ කිරීම, ක්‍රි.ව. 1933 මැයි මස 29වෙනි දින දම්පෑලැස්ස විද්‍යාත්‍ථ–ාලංකාර පිරුවන ආරම්භ කිරීම, ක්‍රි.ව. 1950 මැයි මස 29වෙනි දින රත්මලේ රතනසේල පිරුවන ආරම්භ කිරීම හා එවා ස්වකීය ශිෂ්‍යයන්ට පවරා ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඉමහත් ලෝකසාසනාභිවෘධියක් සැලසූහ. පිරුවනෙන් ශිෂ්‍යයාවන්ට අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි වූ හෙයින් ඒ සඳහා චන්දසේල විද්‍යාලය ආරම්භකොට ප්‍රදේශවාසී ශිෂ්‍යාවනට එම වරප්‍රසාදය ලබාදුන්හ. ලංකාවේ අධ්‍යාපන ආයතනවලට උන්වහන්සේගෙන් ලැබුන අනුග්‍රහය ද අනූපමය ය.
පළාතේ පාඨශාලා හා ප්‍රදේශයේ දහම් පාසල් රාශියක් ඇතිකිරීමෙහි ලා උන්වහන්සේගේ සදුපදේශයත් අනුග්‍රහයත් නොඅඩුව ලැබිණි. සිය ප්‍රබල ශිෂ්‍යයන් මෙහෙයවා ඒවා දියුණුකිරීමට ද කටයුතු කළහ. ප්‍රදේශයේ ආරම්භ වූ සමිතිසමාගම් වෙනත් සංවිධාන ප්‍රබල වූයේත් ශක්ති සම්පන්න වූයේත් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ ය. ප්‍රදේශයේ පැණනැගුණු ප්‍රශ්න නිරාකරණය වූයේ ද උන්වහන්සේගේ බුද්ධිපාටවය නිසා ය. ලක්දිව නොයෙක් ප්‍රදේශවල පැවැත් වූ ධර්මදේශනා මඟින් පොදු මහජනයාට බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා උන්වහන්සේ ගත් ව්‍යායාමය උසස් ආගමික සේවයක් ලෙස සැලකිය හැකි ය.
පුවත්පත් සඟරා ආදියට ලිපිලේඛන සැපයීමෙන් කරන ලද සේවය ද ඉතාප්‍රශස්ත ය. යම් යම් ආගමික ප්‍රශ්න අලලා උන්වහන්සේ ලියූ ලේඛන මාර්ගයෙන් ප්‍රබල මහජන මතයක් ගොඩනැංවීමට ද සමාජයේ පැනනැඟුණු දුර්මත බිඳදැමීමට ද හැකි විය. උන්වහන්සේ විසින් සංශෝධිත පොත්පත් කිහිපයකි. ඒ අතර චූලනිද්දේසය නම් පාලි ත්‍රිපිටක ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කොට ලංකා බෞද්ධ මණ්ඩලයේ ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවට භාරදී ඇත. තාපස දෘෂ්ටි භංගය නම් වූ කෘතිය එවක සමාජයේ පැවති තාපස ව්‍යාපාරය පිළිබඳ යථාතත්වය පැහැදිලි කරන්නකි. 1929 අගෝසතු 05වෙනි සඳුදා සපුගස්කන්දේ නාගස ළඟ සිදුකළ රාමාඤ්ඤ වාදය ද සුවිශේෂ වූවකි.
අහුගොඩ ශ්‍රී සීලානන්ද නාමය වාඩාත් ජනතාව අතර ප්‍රචලිත වූයේ උන්වහන්සේ තුළ පැවති අද්භූත ජොතිෂ්ඥානය කරණකොටගෙන ය. ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය කෙරෙහි පැවති අද්භූත දැනුම විෂ්මයාවහ ය. උන්වහන්සේගෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රීය කටයුතු කරවාගත් මහජනයා ලක්ෂසංඛ්‍යාවෙන් ගිණිය යුතු ය. ඒ මඟින් පලප්‍රයෝජන ලැබුවෝද අනල්ප ය. මිශ්‍රසිංහල ගද්‍ය හා පද්‍යයෙන් යුතු කාණ්ඩ හතරකින් හා පරිච්ඡේද 12කින් ද පිටු 500කින් ද යුක්ත වූ ජ්‍යෝතිෂාවතාරය කෘතිය ද ජ්‍යොතිෂ් ශාස්ත්‍රය ඉගනීමට උන්වහන්සේ විසින් රචනා කළ අගනා කෘතියකි.
පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ ලෙස ද, කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභිකවරයෙක් ලෙස ද, කැලණිය විශවවිද්‍යාලයේ පාලකසභාවේ සභිකවරයෙක් ලෙසද කළ සේවය අතිමහත් ය. 1994 මැයි මස බුරුමයේ පැවති ඡට්ඨ මහා සංගායනාවට ලංකාවෙන් සහභාගී වූ නියෝජිතයෙක් ලෙස උන්වහන්සේ කටයුතු කළහ. ලංකා බෞද්ධ මණ්ඩලයේ සභිකයෙකු ලෙස ද ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව හා ආගම කෘත්‍යකාරක සභාවද නියොජනය කළ උන්වහන්සේ ශ්‍රීලංකා පරිවේණාධිපති සංගමයේ කාරකසභිකයෙකු ලෙසත් ත්‍රෛනිකායික භික්‍ෂු සංගමයේ සභාපතිවරයා වශයෙනුත් වයඹදිග පරිවේණාචාර්ය සංගමයේ උපසභාපතිවරයා ලෙසත් භික්‍ෂු සංගමයේ අනුශාසක වශයෙනුත් ක්‍රියාකරමින් අනූපමේය සේවයක් ඉටු කළහ.
පොතුහැර චන්දසේල පිරුවනේ පරිවේනාධ්‍යක්‍ෂ කර්මස්ථානාචාර්ය, සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අතිගරු යාගොඩ සිරිනිවාස ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ
පොතුහැර චන්දසේල පිරුවන පිහිටුවා වදාළ අහුගොඩ ශ්‍රී සීලානන්ද නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍ය රත්නයක් වූයේ පරිවේණාධ්‍යක්‍ෂ, කර්මස්ථානාචාර්ය, සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත අතිගරු යාගොඩ සිරිනිවාස ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ය- පොතුහැර චන්දසේල පිරුවනෙන් බිහි වූ අගනා නිෂ්පාදනයක් වූ උන්වහන්සේ පොතුහැර චන්දසේල පිරුවනේ දීප්තිමත්ම ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ නමක් මෙන්ම මෙරට සාහිත්‍ය කරණයෙහි බිහි වූ අගනා ලේඛකයෙකි-
පොතුහැර චන්දසේල පිරුවනේ පරිවේණාධීශ්වර, රාජකීය පණ්ඩිත, උපාධ්‍යාය ධුරන්දර, අහුගොඩ ධර්මකීර්ති ශ්‍රී සීලානන්දාභිධාන පහළදොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේන් මූලික අධ්‍යාපනය ලැබූ යාගොඩ සිරිනිවාස ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පිරුවනෙන් සාහිත්‍යාචාර්ය උපාධිය ලැබූහ- 1947 ත්‍රිකුණාමලය හින්දු කොලිජියට ඇතුළත්ව ඉංග්‍රීසි අධ්‍යාපනය මැනවින් හදාළ උන්වහන්සේ එහිම ඉංග්‍රීසි උපගුරුවරයෙකු වශයෙන් සේවය කළහ- 1958 වව්නියා මහා විද්‍යාලයේ ස්ථිර ගුරුවරයෙක් ලෙස සේවය ආරම්භ කළ සිරිනිවාස නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ එතැන් සිට පිළිවෙලින් උහුමීය මහ විද්‍යාලය, බරාගෙදර විද්‍යාලය, පොතුහැර මහ විද්‍යාලයන්හි ඉගැන්වීමේ කටයුතු සිදුකළ අතර එමඟින් ලක් දෙරණට බිහිකළ උගතුන් ප්‍රමාණය අතිමහත්ය- එසේම උන්වහන්සේ මෙම කාල පරිච්ඡේදය තුළදීම නාරම්මල දම්පෑලැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරුවනේත්, වෑගම රතනසේල මහ පිරුවනේත් පරිවේණාචාර්ය වරයෙකු ලෙස සේවයෙහි නිරත වූහ- මෙම උදාරතර සේවවෙන් වසර 30කට පසු විශ්‍රාමගත් යාගොඩ සිරිනිවාස ස්වාන්‍ද්‍රයන් වහන්සේ එතැන් සිට අපවත් වන තෙක් ම පොතුහැර චන්දසේල පිරුවනේ ප්‍රවීණාචාර්ය වරයෙක් වශයෙන් සේවය කළහ-
සාමණේර අවධියේ පටන් කාව්‍ය කරණයේ හසල දැනුමක් ලබා සිටි උන්වහන්සේ සොළොස් වියේදී සාලිය අශෝක මාලා ගැන රචනා කළ කවි පෙළක් “පොතුහැර කාව්‍ය විනෝද ” යන නමින් සිළුමිණ පුවත් පතෙහි පළ කෙරුණි- එතැන් සිට රචනා කරන ලද පද්‍ය රචනා සරසවි සඳරැස, සිංහලේ, කාලය, රිවිරැස ආදි පුවත්පත්වල හා සඟරාවල පල වූ වාර අනන්තය-
ඉගෙනුම ලැබූ අවධියෙහි පටන් ලේඛන කාලාවේ විවිධ හපන්කම් දැක්වූ මෙම යතීන්‍ද්‍රයන් වහන්සේ 1984 වර්ෂයේදි රචනා කළ සම්බුදු සිරිත නම් ග්‍රන්ථයට රාජකීය සාහිත්‍ය සම්මානය ලැබ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූහ- යාගොඩ සිරිනිවාස ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ රත්සර (1945), මාරක ප්‍රේමය (1946), අඛ්‍යාත ව්‍යවහාරයේ පරිණාමය (1978), සමාජ චින්තා (1979), විදුරුදම හෙවත් සුතසෝම දා මුසු කව (1985), අමාදහර, ශ්‍රී රාහුල සංඝරාජ ශබ්ද කෝෂය, අටදහර ආදි ග්‍රන්ථ රැසක් ම රචනා කළහ- පී- බී- අල්විස් පෙරේරා සමග කවි රචනා කළ උන්වහන්සේ එකළ අගනුවර තරුණ කවි සමාජයේ පරෝගාමී සාමාජිකයෙකු ලෙස රසවත් කවි රචනා කළහ- එසේම සිංහල සාහිත්‍යය විෂයෙහි චම්පු කාව්‍ය, ව්‍යාකරණ, ශබ්ද කෝෂ ග්‍රන්ථ කිහිපයක් ද රචනාකොට තිබෙන සිරිනිවාස ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, හින්දි, දෙමළ, ඉංග්‍රීසි, වැනි භාෂා පිළිබඳව මනා දැනුමක් ඇති භූතවිද්‍යා මෙන්ම මෝහන ක්‍රම, නක්‍ෂත්‍රය, සිංහල වෙදකම පිලිබඳවත් විශේෂ දක්ෂතා ඇති ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ නමකි- කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට වැඩම කළ උන්වහන්සේ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ කහටපිටියේ ශ්‍රී සුමතිපාල සුමතිපාල අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීම ඔස්සේ ගමන්කොට විදර්ශනායෝගීව කල් ගෙවූහ- එහිදී විදර්ශනා භාවනාව තුළින් දැන උගත් වී කම්මට්ඨානාචරිය තනතුර ලැබීමට ද යාගොඩ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ සුදුසුකම් ලැබූහ
පොතුහැර චන්දසේල පිරුවනේ පනලියේ සංඝානන්දාභිධාන දඹදෙණි හත්පත්තුව් ප්‍රධාන සංඝනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ
පොතුහැර චන්දසේල පිරුවනේ නිර්මාතෘ වූ අහුගොඩ ශ්‍රී සීලානන්ද නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් පසු තත් ආයතනාධිපතීත්වය දරමින් ඉදිරි කාර්යභාරයන් පැවරුණේ උන්වහන්සේගේ ශිෂ්‍යරත්නය වූ පනලියේ සංඝානන්දාභිධාන දඹදෙණි හත්පත්තුව් ප්‍රධාන සංඝනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට ය.
භික්‍ෂුවකට අවශ්‍ය මූලික අධ්‍යාපන කටයුතු ස්වකීය ගුරුදේවයාණන් වෙතින් ලබා පොතුහැර චන්දසේල පිරුවනේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් ලෙස එළු, සකු, මගධ භාෂාවන් හා සඳලකර ආදිය මැනවින් හදාළ පනලියේ සංඝානන්ද නාහිමියන් තෙවලා බණදහම් පිළිබඳ ද මැනවින් පුහුණු වූහ. 1945දී උපසම්පදාශීලයෙහි පිහිටි උන්වහන්සේ විද්‍යාලඞ්කාර පිරුවනට ඇතුළත්ව විද්‍යාලඞ්කාර පිරිවෙන් අවසාන පරීක්‍ෂණයෙන් ප්‍රථමපංති සාමාර්ථයක් ලැබූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පවත්වන ලද ප්‍රාචීන පරීක්‍ෂණය ද සමත් වු උන්වහන්සේ 1961-1962 වර්ෂ තුළ රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරුපුහුණුව ද අවසන් කළහ. 1964 වර්ෂයේදී විද්‍යාලඞ්කාර විශ්වවිද්‍යාලයෙන් පවත්වන ලද ශාස්ත්‍රවේදී උපාධිය ද දිනාගත් උන්වහන්සේ ඉන්පසු ස්වකීය පිරුවන් විහාරස්ථානය වූ පොතුහැර චන්දසේල පිරුවනට වැඩමකොට එහි උපගුරුවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළහ. ක්‍රමයෙන් නියෝජ්‍ය පරිවේණාධිපති ධුරයටද පත්වූ උන්වහන්සේ සිය ගුරුදේවයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පරිවේණාධිපති ධුරයට පත්ව අනුපමය ශාස්ත්‍රීය සේවයක් ද ඉටුකළහ.
පළාතේ ශාස්ත්‍රලාභීන්ටත් ශාස්ත්‍රෝද්ග්‍රහණයට පැමිණි ගිහිපැවිදි පිරිසටත් මහත්සේ උපකාරී අයුරින් කටයුතුකොට එමඟින් නිසිඵල ලබාදීමට කටයුතු කිරීමත්, ප්‍රදේශයේ විහාරස්ථාන සමූහයක මහාසංඝරත්නය සමග මහත් බැදීමකින් කටයුතු කරමින් උසස් සේවාවක් ඉටුකිරිමත් පනලියේ සංඝානන්ද නාහිමියන්ගේ පරිවේණාධිපති අවධිය තුළ වූ සිදු විශේෂ වු සේවයයි. එසේම එකළ විශ්වවිද්‍යානුබද්ධ පිරිවෙනක් ලෙස ද දක්ෂතා පිරිපුන් ශාස්ත්‍රවන්තයින්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන්නට ක්‍රියාකරවීම ද උන්වහන්සේගෙන් වූ තවත් මහත් වූ සේවයකි.
පිරුවනේ ගිහිපැවිදි වියතුන්ට පොතපත කියවීමේ භාග්‍ය උදාකරදෙනු වස් ශ්‍රී සීලානන්ද අනුස්මරණ පුස්තකාලය ඉදිකළ උන්වහන්සේ පොතුහැර චන්දසේල පිරුවනට මහත් ආලෝකයක් ලබාදුන්හ. ‘වියත් සභාමැද ඉන්නට ඉදිරිව’ යනු කී හෙයින් පනලියේ සංඝානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීමෙන් මහාචාර්ය දේවාලේගම මේධානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වැනි විශ්වකීර්තිධරයන් වහන්සේලා ද කැලණිය විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති අබේරත්න සමරකෝන් වැනි උසස් ගිහි පඬිවරුන් ද මිනිස් සමාජයට සේවාව පිණිසම ප්‍රදානය කළහ.
මෙම වකවානුව තුළ මහත් අභියෝග රැසකට මුහුණදෙමින් චන්දසේල විද්‍යාලය ආරම්භකොට ප්‍රදේශයේ දරුදැරියනගේ අවශ්‍යතාවන් මුදුන්පමුණුවාලීමට උන්වහන්සේ කටයුතු කළහ. තම පණමෙන් රැකගත් පොතුහැර චන්දසේල පිරුවනේ භික්‍ෂූන් වහන්සේලා වතාවත් ප්‍රගුණු කරලීමටත් බණදහම් හැදෑරීමේ කටයුතුවලට ද මුල්තැන දෙමින් ශිෂ්‍යපරපුර ගුණදහමින් හා බණදහමින් පෝෂණය කරවීමටද කටයුතු කළහ.
පිරුවනේ ජල ප්‍රශ්නය සඳහා ලිඳක් තැනීම, පිරුවනට විදුලිය ලබාගැනීම, දෙමහල් ගුරුශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීම, ශ්‍රී සීලානන්ද ගුණඅනුස්මරණ ශාලාව ඉදිකිරීම, චන්දසේල පෙර පාසල හා චන්දසේල දහම් පාසල ආරම්භ කිරීම දෙමහල් මුළුතැන් ගෙය ඉදිකිරීම ආදි කුදුමහත් සේවාවන් රැසක් ඉටුකරමින් පරිවේණාස්ථානයේ අභිවෘද්ධිය හා චිරසථීතිය සඳහා ක්‍රියාකිරීම ද පනලියේ සංඝානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ කාලය තුළ වූ භෞතික සංවර්ධනයන් ය
රාජකීය පණ්ඩිත පනලියේ සුමංගල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ
පොතුහැර චන්දසේල පිරුවනේ තෙවන පරිවේණාධිපති වූ පනලියේ සුමංගල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ අඩසියවසකටත් වඩා අධික කාලයක් සසුන්කෙත බැබළ වූ මහතෙර නමකි- එසේම සුමධුර ලෙස දහම් දෙසමින් බොදුදන සිත් පහන් කළ හැකි භාෂා ශෛලියක් අනුගමනය කරන සරල චාම්දිවි පෙවතකින් භික්‍ෂු ජීවිතය අර්ථවත් කළ යතිවරයන් වහන්සේ නමකි- තම පරිවේණාධිපති ධුරය හෙබවූ පොතුහැර චන්දසේල පිරුවනටත් වැඩවාසය කළ ලිහිණිගිරිය ආඳාවල පොත්ගුල් විහාරයටත් පිවිසෙන බාල තරුණ මහළු කවර නම් පුද්ගලයෙකු වුව ද සොම්නසින් හා බැතිබර බවින් සිත් පුරවාගෙන ආපසු යාමට හේතුවූයේ උන්වහන්සේ තුළ පැවති දයාබර මෛත්‍රී සහගත කරුණාබර කතාවත් සිනහවත් තුළින් ගොඩනැගුණු ප්‍රියශීලි බවත් නිසා ය-
පොතුහැර චන්දසේල පිරුවන පිහිටුවා වදාළ අහුගොඩ ශ්‍රී සීලානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ සහ ලිහිණිගිරිය ආඳාවල පොත්ගුල් විහාරයේ එවකට වැඩ සිටි හුංගමුවේ සෝභිත ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් ව්‍යවහාර වර්ෂ 1949 ජූලි මස 07වෙනි දින පොතුහැර චන්දසේල පිරුවනේදී ප්‍රවෘජ්‍යාභූමියට පත් පනලියේ සුමංගල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ එම පිරුවනෙන්ම ශාස්ත්‍රෝදග්‍රහණයද කළහ- කුඩාකල පටන් කථිකයෙක් වූ උන්වහන්සේ සිංහල, ගණිතය, බුද්ධ ධර්මය, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි විෂයන් සඳහා දක්ෂයෙක් ද විය- උපාධ්‍යායන් වහන්සේලාගේ මගපෙන්වීම හා අවවාද අනුශාසනාවන් තම විචක්ෂණ බුද්ධි මහිමයත් උපයෝගී කරගෙන වඩවඩාත් ත්‍රිපිටකය පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ හසල දැනුමකින් යුක්ත වූහ- උන්වහන්සේ සතුව පැවති ධර්මාවබොධයත්, කථිකත්වයත්, ධර්මදේශනා ශෛලියත්, විනයානුකූල පැවැත්මත් සෙසු භික්‍ෂුන් වහන්සේලාට ද ආදර්ශයක් විය-
බණ හා පිරිත් සඳහා උන්වහන්සේ තුළ තිබූ චතුරත්වයත් හේතුවෙන් උන්වහන්සේ පිළිබඳ විශේෂ කීර්තියක් ප්‍රදේශය තුළ පතල විය- 1959දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාලාභීත්වයට පත් උන්වහන්සේ 1961 වර්ෂයේදී විද්‍යාලඞ්කාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ද ලැබීය- ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිධාරී වූ උන්වහන්සේ ප්‍රාචීන පඬිරුවනකි- විද්‍යාලඞ්කාර සාහිත්‍යාචාර්ය උපාධිය සහිතව සත්කොරළයේ ගුරු සේවය ආරම්භ කළ උන්වහන්සේ 1966 වර්ෂයේදී ප්‍රථමයෙන්ම පොතුහැර චන්දසේල පිරුවනේ උපගුරුවරයෙකු වශයෙන් ද පසුව එම පිරුවනේ උපප්‍රධානාචාර්ය ධුරය, නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය, පරිවේණාධිපති ධුරය ද හෙබ වූ අතර ක්‍රි.ව. 1999 වර්ෂයේදී උන්වහන්සේ විශ්‍රාම ගියහ- තෙවන පරිවේණාධිපති වූ පනලියේ සුමංගල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ පොතුහැර චන්දසේල පිරුවනේ උපගුරුවරයෙකු වශයෙන් හා එම පිරුවනේ නියෝජ්‍ය පරිවේණාධිපතින් වහනිසේ නමක් ලෙස මහත් සේවයක් කළ ද පරිවේණාධිපති ධුරකාලය වසරක පමණ කෙටි කාලයක් වූ බැවින් පරිවේණාධිපතීන් වහන්සේ නමක් ලෙස විශේෂ සේවයක් පොතුහැර චන්දසේල පිරුවන වෙනුවෙන් ඉටුකිරීමට උන්වහන්සේට අවස්ථාවක් නොවී ය-
ලිහිණිගිරිය කනිෂ්ඨ විද්‍යාලය රාජ්‍ය ආයතනයක් දක්වා වැඩිදියුණු කිරීම, සුධර්මාකර දහම් පාසල ආරම්භ කිරීම, ලිහිණිගිරිය පෙර පාසල ආරම්භ කිරීම උන්වහන්සේ ප්‍රදේශයට කළ සේවාවන් ය- අධ්‍යාපනය ලැබීමත් තම දැනුම අන් අයට ලබාදීමත් පමණකින් සෑහීමට පත්නොවූ උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ලිහිණිගිරිය ආඳාවල පොත්ගුල් විහාරය සියලු විහාරාංගයන්ගෙන් සමලංකෘත ස්ථානයක් බවට පත්කරමින් එහි ආයතන හා සංවිධාන ක්‍රමවත් ව හා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබීය- පැරණි සම්ප්‍රදායානුකූලව දාන, සීල පින්කම් සිදුකිරීමත් ගිහියාට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමත්, ආදර්ශමත් සැහැල්ලු ජීවිත පැවැත්මත් උන්වහන්ටස්ගේ චරිතය තුළ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයන් ය-
උන්වහන්සේ ජ්‍යෝතිශ්‍ය විද්‍යාව හදාරණ ලද්දේ අහුගොඩ ශ්‍රී සීලානන්ද නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගෙන් ය- මේ තුළින් ජනසමාජයේ කුදුමහත් කටයුතුවලට සිරිත් විරිත්වලට සිදුකළ සේවය මිළකළ නොහැකි ය- බුලත් හුරුල්ලේ සඟවා ඇති තුටුපඬුරු ඉවත්කරන තුරු පැමිණෙන කාර්යයට උන්වහන්සේ සවන් නොදෙති. අලුත උපන් බිළිඳාට නමක් තබාගැනීමේ සිට අපල උපද්‍රව දොස් දුරලා ගන්නට මගක් අසාගැනීමට, කේන්‍ද්‍රපිටපත සකසාගැනීමට, බත් කැවීමට, අකුරු කියවීමට, අලුත් නිවසක් තනාගැනීමට, විවාහ නැකතක් පිළියෙළකර ගැනීමට ආදි ජීවිතයේ වැදගත් හෝරාවන් පිළිබඳ නිරවද්‍ය සටහන සුමංගල නාහිමියන්ගෙන් ලියවා ගැනීමට පැමිණෙන බෞද්ධ අබෞද්ධ කොයිකවුරුත් උපරිම සංතෘප්තියට පැමිණ සුභවාදී ජීවිතයක ඵල ලබති.
.jpeg)



No comments:
Post a Comment